අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Showing posts with label සාහිත්‍යය. Show all posts
Showing posts with label සාහිත්‍යය. Show all posts

Saturday, October 04, 2014

සසදාවත

පුරාතන සිංහල පද්‍ය කාව්‍ය අතුරෙහි අපට හමු වන පැරණිකමින් දෙ වැනි කෘතිය වන්නේ සසදාවත යි. මෙහි කතුවරයා කවුරුන් ද යන්න අනාවරණය නො වුණ ද ග‍්‍රන්ථය රචනා වූ කාලය කවරේ ද යන්න එහි පැහැදිලි ව සඳහන් වෙයි. ඒ බැව් පැවසෙන 14 වැනි ගීය මෙසේ ය:
කළ ලෝ සසුන් වැඩ - ලීලාවතී හිමිසඳ
පළ කළ දම් රජසිරි - මෙවැටුම්හි පිටුබල වී’
මේ අනුව පොළොන්නරු යුගයේ ලීලාවතී රාඥ˜යගේ රාජ්‍ය සමයේ සසදාවත ලියැවී ඇත. මහා පරාක‍්‍රමබාහු රජුගේ අග මෙහෙසිය වූ ලීලාවතී රාඥ˜ය සතුරු උවදුරු මැද තුන් වරක් ම කිරුළ පැලඳීමට සමත් වූවා ය. ඒ අනුව ලංකා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සිහසුන හෙබැවූ රජු හෝ රැජන හෝ වන්නේ ඇය යි. එතුමියගේ ප‍්‍රථම රාජ්‍ය කාලයේ එනම්; කි‍්‍ර.ව. 1197 - 1200 වසර තුන ඇතුළත සසදාවත ලියැවුණු බැව් පැහැදිලි ය.
කතුවරයාගේ පරමාර්ථය වූයේ බුදුරජාණන් වහන්සේගේ ගුණයකින් එක් කොටසක් මැණික් මල්දමක් සේ දැක්ම බව ‘ඉතිදු මුනි ගුණෙන් දෙස් මිනිමලෙව් දැක්මට’ යන්නෙන් ප‍්‍රකාශ වේ. ඒ අනුව මේ කාව්‍යය සඳහා කතුවරයා තෝරා ගෙන ඇත්තේ පාලි ජාතකට්ඨකතාවේ 316 වැන්න වූ සස ජාතකය යි. ඊට අනුරූපී ව සසදාවත නමින් කෘතිය හැඳින්වී ඇතත් මෙයට ‘කාව්‍යතිලකය’ යන අන්වර්ථ නාමයක් වූ වග ආසන්න කාලයේ ම ලියැවුණු සසදාවත සන්නසෙන් අනාවරණය වේ. සස ජාතකයෙන් කියැවෙනුයේ බෝසතුන් වහන්සේ සාකුලයේ ඉපිද දාන පාරමිතාව පිරූ ආකාරය යි. සඳමඬලේ සාවාගේ රුව සිත්තම් වුණු බැව් කියැවෙන්නේ මේ ජාතක කතාව ඇසුරු කොට ගෙන ය. ‘තොප පිළිඹිබට තිරසන්... හිමි සඳමඬල සුනු කළ’ යැයි සසදාවතේ බෝසත් සාවා ඊට යෝග්‍ය වූ බැව් පළ කෙරේ.
ගී විරිතින් ලියැවුණු සසදාවත ගී 293 කින් යුක්ත කාව්‍යයකි. මුවදෙව්දාවත මෙන් ම යා ගී විරිත මූලික කොට ගෙන කාව්‍යය ලියැවී ඇත. ගී 164 ක් වූ මුවදෙව්දාවත හා සසඳ්‍ර බලද්දී ප‍්‍රමාණයෙන් විශාල වූ බැවින් ‘කාව්‍යතිලක’ වැනි ව්‍යවහාරයකට එවක සුදුසු වූවා විය හැකි ය. එසේ වුවත් සසදාවත ද මුවදෙව්දාවත සේ ම මහා කාව්‍ය ගණයට නො ගැනේ. සසදාවත ද චණ්ඩ කාව්‍යයකි. එහෙත් එය සංස්කෘත කාව්‍ය සම්ප‍්‍රදායයේ එන බොහෝ වර්ණනාවන් ගෙන් සම්ප‍්‍රයුක්ත ය. මුවදෙව්දාවත්කරු මෙන් ම සසදාවත්කරු ද තමන් ප‍්‍රකාශ කරන්නට යන පුවත එක ගීයකට පිඩුකොට සැකෙවින් දක්වා ඇත්තේ මෙලෙසිනි:
‘දැකැ සා බමුණා - මුනිවරු එ සස් කල්
දල මැදරා සිසිදිසි - සිය මස්නි පුස්නා ලෙස්’

Tuesday, May 27, 2014

සාගර පලන්සූරිය ‍හෙවත් ‍කේයස්



‍කේයස් යන විරුදාවලියෙන් හැදින්‍වෙන්‍ ‍නේ අ‍පේ ර‍ටේ බිහිවූ ඉතා දක්ෂ කවි‍යෙකු වන සාගර පලන්සූරිය ශූරීන් ‍වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතා‍ගේ ලියා පදිංචි නාමය වූ‍යේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යන්නයි. ඉතා සුන්දර කවි‍යෙකු වූ සාගර පලන්සූරිය ‍‍දේශපාලනය, පැවිදි දිවිය, ‍ලේඛනය ආදී ක්‍ෂේත්‍ර ගනනාවක් ඔස්‍ ‍සේ ජීවන අත්දැකීම් ලබා සිටීය. සු‍දෝ සුදු කවි පන්තිය ‍මොහු විසින් රචනා කරන ලද අද්ද්විතීය කාව්‍ය රචනාව බ‍‍ව ‍‍කිව හැක.

ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි මගෙ අත දිගට ගලා
නාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළා
එන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළා

සු‍දෝසුදු කවි පන්ති‍යෙහි එන ‍මෙම කවිය මතක‍යේ නැති ‍‍කෙ‍නෙකු ‍නොමැති තරම්ය. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති ආදී විවිධ කාව්‍ය රචනා වලට අමතරව දම්පද සුගතවාණී ආදී ගද්‍ය කෘති ද ‍මොහු විසින් රචනා කරනු ලැබීය.

‍කේයස් ‍ගේ කවි - කටු‍රොද ගම

බඩවැටි මල් පඳුරු මුඩුබිම් පිසිමි න්නේ
කටුරොද ගම්මානයට මඳුනල එ න්නේ
පුර පසළොස්වකට පුන්සඳු පාය න්නේ
මැණිකේ නිසා බව ටික දෙනෙකුයි ද න්නේ

වෙල බඩ මල් පඳුරු වල මල් පුබුදි න්ට
මී මැස්සන්ට රස මීයක් බැඳ ග න්ට
මිහිරි සිහින බැලුමට කිරි දරුව න්ට
පුළුවන් වේද මැණිකේ මෙහි නොසිටි න්ට

කටුරොද මඩ වගුරුවල මානෙල් ඕ ලු
මැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවා ලු
පැල්පත තුළ තනිව වෙසෙනා ඇගෙ පා ලු
කැපුමට සුළඟ රස ගී පවසනවා ලු

රුවැත් තියක් මුත් කුලදම් සිරීත් සෙවී
ඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත් තිවී
ජගත් සිරී ඈ වෙනුවෙන් අළුත් වෙවී
අදුත් කියයි රස සංගීතවත් කවී

නෙත් අඳ පුතා දුවසක් මව වෙත පැමිණ
සිප ගනිමින් නොපෙණෙතත් මවගේ මුහුණ
අම්මේ මේ ළමයි හොඳු නැහැ බොරු කියන
කිව්වම ඈ විතාළා මොකදැයි කරුණ

මල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවා
පෙනෙනවා දුකිනවා කියනා ඒවා
මොනවද අම්මේ මම අහගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා

මල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙ ද
ඒවා මොලොක් බව තේරෙනවා මට ද
එලියක් කියා මොකවත් හෙම තියෙනව ද
මට තේරුම් ගන්ට අම්මේ බැරි මොක ද

උණුසුම දැනේ දහවල් මට රැයට වඩා
වෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා
මට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩා
ලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා

ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ ක
මට දැනෙනවා එය අල්ලන හැම විටෙ ක
පාට කියා ඇත්නම් ගතියක් මල ක
අම්මේ අත නොගෑවෙන එක තමයි දු ක

ලස්සණ කියන දේ නැහැයට වත් කණ ට
මගේ දිවට හරි මගෙ අතපය වල ට
නොදැනෙන්නේ මොකද තෝරා දෙන කල ට
ඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය ම ට


‍කේයස් පිලිබද විස්තර
මුල් නම – පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා
පසු නම් – කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගර
භාවිතා වූ පසු නම් - සාගර පලන්සූරිය (කේයස්)
උපත – 1908 මාර්තු මස 11 දා
වෘත්තීන් – ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂ
වෙනත් – පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)
විවාහය – 1948 නොවැම්බර් මස 26 දා
පුතුන් – තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරිය
බිරිය – ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරා
විපත – 1961 ජූනි මස 21 දා පිලපිටියේ දී 

‍කේයස් පිලිබද ලිපි

සිළුමිණ - http://www.silumina.lk/punkalasa/20120311/_art.asp?fn=ar12031111
දැනුම - http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=15304%3A2010-06-14-05-54-40&catid=94%3Abiography&Itemid=117&lang=si

‍කේයස් පිලිබද ‍පොත් -  http://docs.google.com/viewer?url=http%3A%2F%2Fwww.pothpath.com%2Fwp-content%2Fuploads%2Fbooks%2FK.S  (SAGARA PALANSOORIYA)  01.pdf

Friday, February 21, 2014

ජනකවි රොත්තක්

ශ්‍රී ලාංකීය ග්‍රාමීය ජන සමාජය විසින් තම රැකියාවේ වෙහෙස මහන්සිය නිවා සන්සිදුවා ගැනීම සදහා නිර්මාණය කල සුන්දර ජනගී පෙලක් මෙ‍සේ ඉදිරිපත් කරමු.



වෙල් යායක ගොන් දෙන්නෙක්‌ කකා උනි
ඉන් එක ගොනෙක්‌ වලිගය නැතිව වැනි වැනි
වලිගය ඇති ගොනා මැස්‌සන්ට බැට දුනි
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි

පැල් රක්‌නා අපෙ වරිගේ හත් මුත්තෝ
උන්දැල හතර පෝයට අටසිල් ගත්තෝ
හේනෙ කුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝ
ජාතිත් වාසනාවන් ඒ මී මුත්තෝ

අතට වළලු කොහෙන් දුවේ
පයට ගිගිරි කොහෙන් දුවේ
ඉනට හවඩි කොහෙන් දුවේ
දැනට නිදා ගනින් දුවේ

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක්‌ දැම්මා
මෙසේ මියුරු තෙපළම්මා
පුතේ නාඩ නිදියම්මා

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක්‌ දුන්නයි මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට

මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
තියෙන දෙයක්‌ දෙන්නෙත් අපි දෙන්නාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට

කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී
වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී
පැලේ ගොසින් පැල් රැක්‌කා පැදුර දනී
මෙදා යලේ වී නැතුවා අටුව දනී 

වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා
ගැටිය නැති මුට්‌ටි පොඩියේ උයන් කකා
පණම් විස්‌ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා


Sunday, May 05, 2013

සීගිරි කුරුටු ගී



සීගිරිය ලෝකයේ ඇති සුන්දරතම නැරඹුම් ස්ථාන වලින් එකකි. සීගිරිය නිර්මානය කල කාෂ්‍යප රජතුමා ක්‍රි.ව. 473 සිට 491 දක්වා කාලය තුල සීගිරිය සිට රට පාලනය  කර ඇත. සීගිරියේ ඇති සුන්දරම ඉසව්ව වනුයේ සීගිරි චිත්‍ර වේ. මල් රැගත් කාන්තා රූප වන සීගිරි චිත්‍ර වලින් යම් ප්‍රමානයක් අදටත් ඉතිරිව පවතී.


ක්‍රි.ව. 7 වන සියවසෙන් පසුව ඉතා අලංකාර වූ මෙම චිත්‍ර සහ මාලිගය දැක බලාගැනීමට නන් දෙසින් ජනතාව පැමිණ ඇති අතර ඔවුන් තමන් දුටු අපූර්වත්වය කවියට නගා කැටපත් පවුර පුරා සටහන් කර ඇත. මෙය ක්‍රි.ව. 7 - 10 කාලයේ දී අපේ රටේ සාහිත්‍ය ගැන අධ්‍යයනයට හොද අවස්ථාවකි.



අද වනවිට කැටපත් පවුර සංරක්ෂනය කර ඇත. සීගිරි ගී අතර ඇති බුදල් ගේ කවිය අපූර්ව සුන්දරත්වයක් ගෙන දේ. කැටපත් පවුරේ ඇති සුන්දර සීගිරි ගී වලින් කොටසක් මෙසේ ඉදිරිපත් කෙරේ.


කොමුල් අමඩ් ලෙඩ්  ලිනසී
ඒ බොන්ද මියුර් යහ  බැසී
එක පල් දල වන් දිගැසී
මන ජල්වයි සිත්  නොමුසී

නිල් ක(ට්)රොළ මලෙකැ
ඇවුණු වැට්කොළ මල සෙය්
සැන්දැහැ සිහිවෙන්නෙය්
මහනෙල් වන (හ) ය් රන්වන හුස්

මෙය් වැනි ගිරින්දෙක් මෙ ලක්දිව් වන් සග් මෙනි
යෙනු බලජු නොදැක, කැට බිත තුබුසෙය
නැගි ඇති බලනට බැලිමි සී හිමියන් සිහිගිරි
යජත් සෙමෙන් තිදස් පුර උසුලයි සිහිගිරි

එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.

නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.

තොස කතුන් බලන ලදිමි සිහිගිරි ගල මත
දත් මේ හිමබුන් මෙහි ඇසිරියට සිටි
මා පෙමින් කැන්දියෙ එක මගා දිගැස් බලනෙය

හවුළ් මරු ජහස්සුයුනස් සන්දල්ලා
තුරු ගළ් කො හළ් හූ බලගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ් කළ තම්බළපල්ලා
පැ රැය දිගැස් ත දුන් හසුන් කුම් වාල් ලා

බුදල්මි
සියො වැ ආමි
සිහිගිරි බැලිමි
බැලු බැලු බොහො ජනා
ගී ලීයෙන් නො ලීමි

Wednesday, May 01, 2013

වදන් කවි පොතෙහි එන අක්‍ෂර විභාගය




වදන් කවි පොත යනු අතීතයේ අධ්‍යාපනය ආරම්භයේදී භාවිතා කල වැදගත් පොතකි. එම පොතෙහි එන අක්‍ෂර විභාගය කවි මෙසේ ඉදිරිපත් කෙරේ.

අවන පටන් අඃ වන්නට වදනින්
දැනෙන සොළස පෙර සොරකුරු වදනින්
කයන එපස් වග යානව වදනින්
මෙවන සුතිස් දනු හසකුරු වදනින්

එක්සොර පස්වග යරලව සතරා
ශෂ සහ එකකුරු ළයනෙක අකුරා
සුරුවත් සමහරු නොදනිති ඉඳුරා
සෝඩියෙ බරකුරු දැනගන් සපුරා

කණ්ඨජ සත අහ කවගය වදනින්
තාලුජ සත ඉය චවගය වදනින්
මුර්ධජ සත රළ ටවගය වදනින්
දන්තජ සත ලස තවගය වදනින්

ඔෂ්ඨජ සය ඌ පවගය වදනින්
තාලුජ කණ්ඨජ ඒකුරු වදනින්
කණ්ඨජ ඔෂ්ඨජ ඕකුරු වදනින්
දන්තජ ඔෂ්ඨජ වෝකුරු වදනින්

මුදුනය දසනය උපදින කුරටා
යෙදු තාලුජය ද සෙසුකුරු වලටා
ලදු අග මැද දිව දුනු තැන් ලෙසටා
හඳුනව කරණය කී ලෙස කුරටා

මේ ලෙස කුරු උපදින තැන් දනුවා
ආ ලෙස අකුරට කරණය දනුවා
වූ ලෙස ඒකජ ද්විජකුරු දනුවා
කී ලෙස ගරුකය ලහුකය දනුවා

එක්වූ අකුරට පෙරකුරු නිතිනා
වක්වූ ගුරු දිගු බව යයි දැනෙනා
දික්වූ නොම වණ සිටි එක මතිනා
දැක්වූ පෙර ඉසි ලුහු යයි දැනෙනා

එකමත ලුහු යැයි දැනකි යමින්නේ
යුගමත දිගු යැයි ගුරු පවසන්නේ
වෙනමත තුනෙකින් පුලුත කියන්නේ
අඩමත දැනගන් හසකුරයන්නේ

අවණය ආදී ඒකජ අකුරු
එවණය ඈ දනු ද්විජ නම් අකුරු
දෙවන කවග සහ ලහුකය අකුරු
එයිනැර සෙසුකුරු ගරුකය අකුරු

ගනිමින් පස්වග පළමු දෙවන කුර
සමගින් සවණ ද අගොසය කිවු පෙර
ළයනන් තව සෙසු කුරු නම් ගොසකුර
දැනගන් මේ ලෙස සෝඩියෙ දෙයකුර

ගොසකුරු නොම ගොසකුරු යන දෙවගෙකි
තොස වන දනිතය සිතිලය දෙවගෙකි
නිසසය නිසිතය යන කුරු දෙවගෙකි
බස පෙර ඇත සෝඩියෙ කරු දෙවගෙකි

පස්වග යුගසිවු දනිතය දන්නේ
එමවග වල එක තුන පවසන්නේ
නොවළඟ සිතිලය දැන කියමින්නේ
මෙමවග කුරු පෙළ තෝරා දෙන්නේ

සිතරා එක්කට යාදී නවකුරු
නොහැරා දනු එක් පාදී පසකුරු
විතරා සොර එක් එක් සුන් දෙයකුරු
සපුරා දැනගන් සෝඩියේ සිවුකුරු

පණසෙක සොර සහ හස දෙවගින්නේ
එහි එක එක හසකුර සදමින්නේ
සොළසෙක සොර ලූ කල ගණනින්නේ
නොව සැක පන්සිය සැටකුරු දන්නේ

සෝඩියෙ සූතිස් පිල්ලම කාදී
ලූ කල සොරයන් සොළසද ආදී
ගණනින් පන්සිය සැටෙකින් සුසැදී
අකුරෙන් සතළිස් සතරක් බේදී

පෙර හස පරසොර සද නොව වෙනසක්
කර වියරණ විදි දැන ඇති විලසක්
කුරු හස එකකට වැඩිවිය සොළසක්
තිර කුරු මඟ දැනුමට වැනි දිවැසක්

Monday, July 16, 2012

රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා

රූ රැ සේ අදිනාලෙසේ අත් ලෙළ දදී විදුලිය පබා
රන්රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ - තබා
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
මම්කෙසේ පවසම්එසේ වර සුර ලඳුන්දුන් රඟ සුබා

 පුන්මදා රා මල් දමින් දිගු සුනිල් වරලස ගොතා
මන්මදා කිතු ලිය ලෙසින් උර සරා දිලි මුතු ලතා
මන්මදා වන මිණි මෙවුන් නද වෙණ නදින් එක් කොට ඉතා
උන්එදා දුන් රඟ දුටොන් තව සක් සැපත් කවරෙක් පතා

පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන් බැ‍ඳේ
ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බඳිමින් ත‍ඳේ
මඳ පවන් වැදලෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ
දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින් මිදේ

පා පියුම් බිඟු රොන් සළා වන් දිලිරුවන් නුපූර ගොසේ
පාදගම් රා නාදනූ කොට ගත් නුටුම් සුරඟන රැසේ
ලූබැලුම් පමණින් සුරන් සිත් මත් කෙරෙත් මැයි නොකම සේ
ඒ රැඟුම් රඟ දුටු දනෝ නුමුළා වෙති යි පවසම් කෙසේ

 පෑ උදුල් සිතියම් ලෙසින් සිටිනේ සුරන් සහ සක් නුබේ
රූ නිමල් සුර ලිය තොසින් බැසැ රඟ කෙරෙත් නර රජ සබේ
මී රිකල් තත් සුන් වෙණින් බෝසත් ඔවුන් කර වයි ලොබේ
මේ සියල් විසිතුරු උතුම් එක තැනැ දැකුම් කිකලෙක ලැබේ

---- ගුත්තිලයෙන් ----