අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Saturday, October 04, 2014

සසදාවත

පුරාතන සිංහල පද්‍ය කාව්‍ය අතුරෙහි අපට හමු වන පැරණිකමින් දෙ වැනි කෘතිය වන්නේ සසදාවත යි. මෙහි කතුවරයා කවුරුන් ද යන්න අනාවරණය නො වුණ ද ග‍්‍රන්ථය රචනා වූ කාලය කවරේ ද යන්න එහි පැහැදිලි ව සඳහන් වෙයි. ඒ බැව් පැවසෙන 14 වැනි ගීය මෙසේ ය:
කළ ලෝ සසුන් වැඩ - ලීලාවතී හිමිසඳ
පළ කළ දම් රජසිරි - මෙවැටුම්හි පිටුබල වී’
මේ අනුව පොළොන්නරු යුගයේ ලීලාවතී රාඥ˜යගේ රාජ්‍ය සමයේ සසදාවත ලියැවී ඇත. මහා පරාක‍්‍රමබාහු රජුගේ අග මෙහෙසිය වූ ලීලාවතී රාඥ˜ය සතුරු උවදුරු මැද තුන් වරක් ම කිරුළ පැලඳීමට සමත් වූවා ය. ඒ අනුව ලංකා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සිහසුන හෙබැවූ රජු හෝ රැජන හෝ වන්නේ ඇය යි. එතුමියගේ ප‍්‍රථම රාජ්‍ය කාලයේ එනම්; කි‍්‍ර.ව. 1197 - 1200 වසර තුන ඇතුළත සසදාවත ලියැවුණු බැව් පැහැදිලි ය.
කතුවරයාගේ පරමාර්ථය වූයේ බුදුරජාණන් වහන්සේගේ ගුණයකින් එක් කොටසක් මැණික් මල්දමක් සේ දැක්ම බව ‘ඉතිදු මුනි ගුණෙන් දෙස් මිනිමලෙව් දැක්මට’ යන්නෙන් ප‍්‍රකාශ වේ. ඒ අනුව මේ කාව්‍යය සඳහා කතුවරයා තෝරා ගෙන ඇත්තේ පාලි ජාතකට්ඨකතාවේ 316 වැන්න වූ සස ජාතකය යි. ඊට අනුරූපී ව සසදාවත නමින් කෘතිය හැඳින්වී ඇතත් මෙයට ‘කාව්‍යතිලකය’ යන අන්වර්ථ නාමයක් වූ වග ආසන්න කාලයේ ම ලියැවුණු සසදාවත සන්නසෙන් අනාවරණය වේ. සස ජාතකයෙන් කියැවෙනුයේ බෝසතුන් වහන්සේ සාකුලයේ ඉපිද දාන පාරමිතාව පිරූ ආකාරය යි. සඳමඬලේ සාවාගේ රුව සිත්තම් වුණු බැව් කියැවෙන්නේ මේ ජාතක කතාව ඇසුරු කොට ගෙන ය. ‘තොප පිළිඹිබට තිරසන්... හිමි සඳමඬල සුනු කළ’ යැයි සසදාවතේ බෝසත් සාවා ඊට යෝග්‍ය වූ බැව් පළ කෙරේ.
ගී විරිතින් ලියැවුණු සසදාවත ගී 293 කින් යුක්ත කාව්‍යයකි. මුවදෙව්දාවත මෙන් ම යා ගී විරිත මූලික කොට ගෙන කාව්‍යය ලියැවී ඇත. ගී 164 ක් වූ මුවදෙව්දාවත හා සසඳ්‍ර බලද්දී ප‍්‍රමාණයෙන් විශාල වූ බැවින් ‘කාව්‍යතිලක’ වැනි ව්‍යවහාරයකට එවක සුදුසු වූවා විය හැකි ය. එසේ වුවත් සසදාවත ද මුවදෙව්දාවත සේ ම මහා කාව්‍ය ගණයට නො ගැනේ. සසදාවත ද චණ්ඩ කාව්‍යයකි. එහෙත් එය සංස්කෘත කාව්‍ය සම්ප‍්‍රදායයේ එන බොහෝ වර්ණනාවන් ගෙන් සම්ප‍්‍රයුක්ත ය. මුවදෙව්දාවත්කරු මෙන් ම සසදාවත්කරු ද තමන් ප‍්‍රකාශ කරන්නට යන පුවත එක ගීයකට පිඩුකොට සැකෙවින් දක්වා ඇත්තේ මෙලෙසිනි:
‘දැකැ සා බමුණා - මුනිවරු එ සස් කල්
දල මැදරා සිසිදිසි - සිය මස්නි පුස්නා ලෙස්’


නමස්කාරය සහ හැඳින්වීම කිරීමෙන් අනතුරුව සැවැත් නුවර, ජේතවන විහාරය, සස සෘතු, ධර්ම සභාව, උදය, පූජා විධි, සැඳෑව, ධර්ම සභා පිරිස, බරණැස් නුවර, බඹදත් රජ, මහ වනය ආදි වූ සාම්ප‍්‍රදායයික වර්ණනා රාශියක් පැවසෙන අසන්නට හැකි ය. සැබෑ කතා පුවතට ප‍්‍රවේශ වනුයේ ඒ සියල්ල උදෙසා ලියැවුණු ගී 230 කට අනතුරුව ය. ගිම්හාන, වස්සාන, සරත්, හේමන්ත සිසිර සහ වසන්ත යන අනු පිළිවෙළින් සෘතු සය වර්ණනය කිරීම උදෙසා පමණක් ගී 85 ක් රචනා කොට තිබේ. කතා පුවතට අසම්බන්ධිත අනෙකුත් වර්ණනා වෙනුවෙන් ද මහත් ගී සංඛ්‍යාවක් වැය වී ඇත. බෝසත් මෛතී‍්‍රබල වර්ණයෙන් ආරම්භ වී විකාශනය වන කතා පුවත ගෙනහැර පෑම පිණිස කැප කොට ඇත්තේ ගී 63 ක් වැනි සුළු ප‍්‍රමාණයකි.
සස ජාතකය කුඩා කතා පුවතක් වන බැවින් කෘතියට වැඩි වටිනාකමක් ලබා දෙන අදහසින් රචනය දීර්ඝ කිරීම සහ සංස්කෘත කාව්‍ය සිද්ධාන්තයන්ට අනුගත ව විවිධ වර්ණනාවලින් රචනය සරුසාර කිරීම යන අරමුණු හේතු කොට මෙසේ බාහිර තොරතුරු කෘතියට එක් වී ඇතැයි සිතිය හැකි ය. මහා කාව්‍යයක අඩංගු විය යුතු අංගෝපාංග කෘතියට ඇතුළත් කිරීමට කතුවරයා කිසි යම් උත්සාහයක යෙදී ඇති බැව් පෙනේ. එහෙත් කාව්‍යාදර්ශයේ ද ඒ අනුව සියබස්ලකරේ ද සඳහන් ව ඇති මහා කාව්‍යයක ඇතුළත් විය යුතු වර්ණනා යෙදිය හැකි තරමේ අවස්ථා, කතා පුවතින් හා චරිතවලින් ඉස්මතු නො වේ. සුදුසු කතා පුවතක් තෝරා ගත්තේ නම් මහා කාව්‍යයක් කිරීමේ හැකියාව කතුවරයාණන්ට තිබූ බැව් පෙනේ.
සසදාවතෙහි එන බොහෝ වර්ණනා ලියැවී ඇත්තේ සංස්කෘත කාව්‍යයන් ආශ‍්‍රය කොට ගෙන ය. උදාහරණයක් සේ සෘතු සය වර්ණනා කිරීම ගත හොත් එය බෙහෙවින් කාලිදාසයන්ගේ සෘතු සංහාරය ඉවහල් කර ගනිමින් රචනා වී තිබේ. එසේ ම කුමාර සම්භවය, ශාකුන්තලය, රඝු වංශය, මේඝ දූතය පමණක් නො ව ශිශුපාලවඹ, කාව්‍ය වීමංසා, බාලරාමායණ වැනි සංස්කෘත ග‍්‍රන්ථවලින් ද කතුවරයා මහත් ආභාසයක් ලබා ඇත්තේ ය. මේ අනුව රචනා වූ ගී වලින් කතුවරයාගේ කවිත්වයටත් වඩා ඔහුගේ පාණ්ඩිත්‍යය මැනැවින් ප‍්‍රකට වේ. එහි දී හෙතෙම සන්දෂ්ට, යමක, ඒකාක්ෂර, ඕවජ, ගෝබුත‍්‍ර, ති‍්‍රශූල ආදි වූ දුෂ්කර බන්ධනවලින් පවා පද්‍ය ප‍්‍රබන්ධයේ සාමාර්ථය දක්වා ඇත. සන්දෂ්ට බන්ධනයෙන් ලියැවී සෘතු වර්ණනයෙහි එන ගීයක් මෙසේ දැකිය හැකි ය:
‘මිණි මුතු කඳුළු වන - කඳුළු වනනැ’සැ බඳ නී
නැසැ බඳ නී මඳ සුළඟ - මඳ සුළඟ ළැව දැල වී’
එසේ වුව ද සම්පූර්ණයෙන් සංස්කෘත ග‍්‍රන්ථවලට ගැති නො වී නිදහස් ව අදහස් ප‍්‍රකාශ කරමින් සිය ප‍්‍රතිභාව දැක්වීමට ද කතුවරයා වෑයම් කොට ඇත්තේ ය. පහත දැක්වෙන ගීය එවැන්නකි:
‘තෙපි යම’ සා ද වී - මේ වත් රූ නො දිස්මි
කනත ගිය වත් නුවන් - පුළුවුස්න’සිනෙ පුරඟන’
මෙ වැනි රූ නො දුටිමි යි මෙවැන්නක් ඇසී දැයි විමසමින් පුරඟනන්ගේ ඇස්, කන් දක්වා දිගු වූ වැනි ය යනුවෙන් අර්ථාලංකාරයෙන් යුක්ත කාව්‍යමය සංකල්පයක් මින් ජනිත කෙරේ. ග‍්‍රන්ථයේ අග භාගයේ එන මෙත්බල සහ ලෝක පූජා වැනි වර්ණනාවල දී මෙසේ වූ කතුවරයාගේ කාව්‍ය ප‍්‍රතිභාව හා නිර්මාණ ශක්තිය බෙහෙවින් පිළිබිඹු වේ.
සසදාවතේ ධර්ම සභා වර්ණනයේ දී එහි රැස් වූ යම, වරුණ, වෙසමුණු, විෂ්ණු, ඊශ්වර, බලභද්‍ර වැනි දෙවිවරුන් සමග ගණ දෙවියන් සහ ස්කන්දකුමාර දෙවියන් ද වූ වග පැවැසේ. මේ සඳහන් කිරීම එවක පොළොන්නරු යුගයේ වැඩෙමින් පැවැති දේව භක්තිය පිළිබඳ මනා නිදසුනකි. තව ද බෝසත් සිරිත් දැක්වීමේ දී (275 සහ 276 ගී වල) සඳහන් කරන ජාතක පුවත් පාලිජාතකට්ඨකථාවේ නොමැති ඒවා ය.
ව්‍යාඝී‍්‍ර ජාතකය සහ හස්ති ජාතකය ලෙස හඳුනා ගත හැකි එකී ජාතක කතා ඇතුළත් වන්නේ ආර්යශූරපාදයන් විසින් ලියන ලද ‘ජාතකමාලා’ නම් වූ සංස්කෘත ග‍්‍රන්ථයෙහි ය. කතුවරයා ඉන් ලබා ඇති ආභාෂය මහායාන බලපෑම පිළිබඳ කිසි යම් ඉඟියක් පළ කරන්නකි.
පන්සියපනස් ජාතක පොතේ එන ජාතක කතා විමසා බැලීමේ දී සස ජාතකය යනු බෝසතුන් සා කුලයේ උපන් එක ම ආත්ම භාවය පළ කරන ජාතක කතාව වන්නේ ය. සසඳ්‍රවතට බොහෝ පසු කාලයක ලියැවුණු ජාතක පොතේ සස ජාතකය අවසන ‘... තිරිසන් ව කළා වූ අරුමය මේ භද්‍රකල්පය මුළුල්ලෙහි සියලු සත්ත්වයන්ට ප‍්‍රකාශ ව පෙනුණු මැනවැ යි... චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය හැඳ...’ යනුවෙන් සාවාගේ රුව හඳේ අඳිනු ලැබු බව පළ වේ. එහෙත් සසදාවතෙහි එවැන්නක් නො කියැවේ. සාවා චන්ද්‍ර මධ්‍යය අරා දිස් වූ වග (= මැද’රා සිසි දිසි - 16 ගීය) සහ චන්ද්‍ර මණ්ඩලයට සුදුසු වූ වග (= හිමි සඳමඬල සුහු කළ 279 ගීය) එහි කාව්‍යාත්මක ව පැවසේ.
පොළොන්නරු යුගයේ අසාර්ථක රජවරුන් කීප දෙනෙකු ගෙන් පසු රජ පැමිණි ලීලාවතී රැජිනගේ ප‍්‍රථම රාජ සමය කලකට පසු එළැඹි සන්සුන් වකවානුවක් වූ වග ‘පළ කළ දම් රජසිරි මෙ වැටුම්හි පිටුබල වී’ යන්නෙන් හෙළි වේ. තව ද කීර්ති නම් සෙනෙවියා විසින් එතුමිය සිංහාසනාරූඪ කරැවූ බව කියැවෙන මහාවංශ පුවත ද ‘අගමැති කිත් සෙනෙවි යුත්’ යනුවෙන් වූ ගීයෙන් සනාථ වේ.
සසඳ්‍රවත ගී 293 කින් නිමා වුව ද එහි නිශ්චිත අවසානයක් නො දැක්වෙන බැවින් තවත් ගී කීපයක් හෝ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. එහෙත් එවැන්නක් කිසිදු පිටපතකින් හමු වී නොමැත. සසඳ්‍රවතේ භාෂා ශෛලිය මුවදෙව්දාවතට බෙහෙවින් සමාන වුවත් ඊට වඩා මඳක් ගැඹුරු ස්වරූපයක් ගනී. එකී භාෂාව එවක පොදු ව්‍යවහාරයේ පැවැති භාෂාව යැයි සිතිය නො හැකි ය. මන්ද යත්, සසඳ්‍රවතේ අර්ථ විවරණය කිරීම සඳහා ඒ ආසන්න කාලයේ ‘සසඳ්‍රවත සන්නස’ නමින් කෘතියක් ලියැවී ඇති බැවිනි. සසඳ්‍රවත බෙහෙවින් භාවිතයෙහි තිබු වග ඊට සන්නසක් ද රචනා වී තිබීමෙන් තහවුරු වේ.