අලුත් ලිපි

මූනු පොතේ අපේ ඉසව්ව

Friday, February 21, 2014

ජනකවි රොත්තක්

ශ්‍රී ලාංකීය ග්‍රාමීය ජන සමාජය විසින් තම රැකියාවේ වෙහෙස මහන්සිය නිවා සන්සිදුවා ගැනීම සදහා නිර්මාණය කල සුන්දර ජනගී පෙලක් මෙ‍සේ ඉදිරිපත් කරමු.



වෙල් යායක ගොන් දෙන්නෙක්‌ කකා උනි
ඉන් එක ගොනෙක්‌ වලිගය නැතිව වැනි වැනි
වලිගය ඇති ගොනා මැස්‌සන්ට බැට දුනි
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි

පැල් රක්‌නා අපෙ වරිගේ හත් මුත්තෝ
උන්දැල හතර පෝයට අටසිල් ගත්තෝ
හේනෙ කුඹුරෙ වැඩ නිසි ලෙස දැන ගත්තෝ
ජාතිත් වාසනාවන් ඒ මී මුත්තෝ

අතට වළලු කොහෙන් දුවේ
පයට ගිගිරි කොහෙන් දුවේ
ඉනට හවඩි කොහෙන් දුවේ
දැනට නිදා ගනින් දුවේ

පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක්‌ දැම්මා
මෙසේ මියුරු තෙපළම්මා
පුතේ නාඩ නිදියම්මා

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී දෙකක්‌ දුන්නයි මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනල ද පුතේ කිරි දුන්නේ මා නුඹට

මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
තියෙන දෙයක්‌ දෙන්නෙත් අපි දෙන්නාට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට

කැලේ ගොසින් ලී කැපුවා කැත්ත දනී
වෙලේ ගොසින් වැට බැන්දා නියර දනී
පැලේ ගොසින් පැල් රැක්‌කා පැදුර දනී
මෙදා යලේ වී නැතුවා අටුව දනී 

වඳුරා ගොඩට අපි ඇවිදින් විදින දුකා
ගැටිය නැති මුට්‌ටි පොඩියේ උයන් කකා
පණම් විස්‌ස ණය වෙනකොට හිතට දුකා
මීට වැඩිය නරකද ගම හිඟා කකා



දම්බරා මැද්ද මග හිමය මැද යමු
කඩා පලු වීර කාලා වතුර බොමු
අඬන ළමයි මඟ සිටුවා කිරි පොවමු
මයියන්ගනේ වැඳ බැහැදැක යන්ට යමු 

අහසට හිමි ඉරහඳ දෙවියන් නේ
පොළොවට හිමි මිහිකත් දෙවියන් නේ
දෙලොවට තෙද ඇති සක්‌දෙවියන් නේ
මෙලොවට වැඩි දෙවි අවසර දෙන් නේ

බඹේකට ඈත මගෙ කුඹුර පෙනි පෙනී
සබේ බැන්ද ජයසක්‌ සේම පෙනි පෙනී
ඔබේ පිහිට ඇත්නම් මෙමට පුළුවනී
ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනී 

ඉරට මුවාවෙන් ඉඳගෙන ඉස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සලු පළඳිනවා
මලට මුවාවෙන් ඉඳගෙන මල් පළඳිනවා
අපට මුවාවෙන් ඉඳගෙන ඔමරි කරනවා


පැල් කවි
ඉරු දෙවියන් ඉර මුදුනෙන් වඩින තුරා
සඳ දෙවියන් සඳ මුදුනෙන් වඩින තුරා
ගණ දෙවියන් ගන අඳුරෙන් වඩින තුරා
සීපද කියමු අපි ඉරගල තිබෙන තුරා

උණ දඬු කපන තපන තැන උණ දඬු රිකිල්ලා
බට දඬු කපන තැන රන්වන් කුරුල්ලා
වතුර බසින තැන හොල්මන් කුරුල්ලා
සීපද කියන්නට කවුරුත් වරෙල්ලා

පෙරකලේ තැනු පැල දැන් දිරාලා
එමකා‍ලේ බැදපු වැට ගොනු කඩාලා
පැල්පතේ ගොයම් රෑ රැක බලාලා
නිදිමතේ කියමු පැල් කවි ගොතාලා

එගොඩත් බලම් එගොඩත් වවුලන්ගෙ කැලේ
මෙගොඩත් බලමි මොගොඩත් වවුලන්ගෙ කැලේ
දෙගොඩම බලම් දෙගොඩම වවුලන්ගෙ කැලේ
වවිලනි තොපට මොර ඉදිලා පල්ලෙ කැලේ

දුම්බර හිමවතේ මා වී පැසෙන්නේ
දුක්‌දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැකුමෙන දෙවියනේ වෙල බත බුදින්නේ
දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ

අනේ මහතුනේ මට උන වියෝයා
පිලේ පැදුර හොරු අරගෙන ගියෝයා
ගෙදර ගියත් මා නොතකන ලියෝයා
පැදුර දුන් කෙනෙක්‌ මගෙ නෑ සියෝයා

ඇල් හේනේ උඩ මැස්සේ සිටින නගෝ
ඇඳි සේලේ රැළි සුළඟට නගන නගෝ
කකා බුලත් සප සුළඟට නගන නගෝ
කුරුණෑගලට මග නොසඟව කියකො නගෝ

කන්ද උඩින් එන කිකිළිය ගෝමරි යේ
නළල් වටින් එන දාඩිය මුතු සැටි යේ
අත පා මුදු පය පා මුදු වයිරෝඩි යේ
මට පිටිපා ගෙට යනවද සුරතලි යේ

කිරි වැදි වැදි කිරි වැදි වැදි මෝරන්නේ
ගොබ ඇදි ඇදි ගොබ ඇදි ඇදි පූදින්නේ
අත නැමි නැමි අත නැමි නැමි බරවෙන්නේ
පැලට වෙන්න දැන් කාලය ලන්වෙන්නේ

ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පලවා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ

පැලේ පැදුර සුළඟට වැනි වැනීයෝ
වැවේ වතුර රැල්ලට සිඳි සිඳීයෝ
වෙලේ ගොයම පින්නට පැසි පැසීයෝ
‍අපේ මෙවන් දුක දෙවිඳුට පෙනීයෝ

වෙලක මහිම බල මාවී පැසී ලා
පැලක මහිම බල බට කොල හොයා ලා
මලක මහිම බල අතු අග පිපි ලා
ළියක මහිම බල ගෝමර ඉසි ලා

වෙල හොඳ මොකද යල මහ පාලු වේ නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතු අග පරවයේ නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්

වරම්ගතිමි ඉර සඳ දෙවි අතින් වරම්
වරම් ගතිමි මිහිකත දෙවි අතින් වරම්
වරම් ගතිමි සක්වල දෙවි අතින් වරම්
වරම් ගොයම් කව්පුමට දෙවිඳුගෙන් වරම්

තෙල් ගාලා ඉස පිරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැදගන් නෑනෝ
සේලේ අරගෙන ඇදපන් නෑනෝ
ගොයමි නෙළන්නට යමු අපි නෑනෝ

ඉරැ දෙවියෝ වැඩිය තැනේ
බොල් පිණි ගිලිහෙයි සැනිනේ
සද දෙවියෝ වැඩිය තැනේ
කරැවල නොතිබෙයි එතනේ

පසේ බුදුන් වැඩිය තැනේ
පස්පව් දුරැවෙයි සැනිනේ
ගන දෙවියෝ වැඩිය තැනේ
නුවණ වැඩෙනවා නිතිනේ

මේ කොතනින් ගෙනා ගොනා
රැහුණු රටින් ගෙනා ගොනා
කොඹ මැඩුමට ගෙනා ගොනා
කොඹ මැඩුම‍ට හොදයි ගොනා

ගොනුගෙ පයේ රනෙන් විල්ල
අපේ පයේ රිදි විල්ල
කමත වටේ කරැකැ විල්ල
උනා වරෙන් බැත වලල්ල

එගො‍ඩ ගොඩේ නා කණුවෙ බැන්ද ගොනා
මෙගොඩ ගොඩේ සපු කණුවෙ බැන්ද ගොනා
දෙගොඩ තලා යන වතුරට පැන්න ගොනා
අපොයි මගේ රන්මුතු මල්ලියා ගොනා

මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
බලේ බලේ රාසිං දෙවියන්ග බලේ
රැළේ රැළේ මුදෙන් දමන දිය රැළේ
ගලේ කොටුව බැන්දයි තිරිකුණා ම‍ලේ

මං බාලේ ඇති කළ තලගොයි පැටියා
මට තනිවට මිදුලේ පෙමි‍‍ කෙළ සිටියා
‍උගෙ මරැවා ඌ ඇවිදින් ඇරන් ගියා
නිවන් පුරේ පලයන් තලගොයි පැටියා

ගසට නමකි ගස මරැණම වෙන නමකී
ගෙඩියට නමකි ගෙඩියේ පොත්තට නමකී
මදයට නමකී මද කන කොට වෙන නමකී
මෙතුන් පදේ තෝරාලා කියන් සකී

ගොයම් කවි/නෙළුම් කවි
රන් දෑකැති ගෙන නිති සැරසෙනවා
රත්ත්‍රං පටි ඉන වට දිලිසෙනවා
හිරුදුටු පිණිබිදු සුලඟේ යනවා
දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා

උඩින් සිටින හිරු දෙවියෝ සෙවන කරා
බිමින් සිටින මිහිකත දෙවි කලස දරා
වටින් සිටින මිහිකත දෙවියෝ අරක් කරා
ඉතින් කපමු අපි එකතුව ගොයම් පුරා

වරම් වරම් මට මහ බඹු අතින් වරම්
වරම් වරම් දෙවි ඉසිවර අතින් වරම්
වරම් වරම් සක් දෙවි අතින් වරම්
වරම් ගොයම් කැපුමට දෙවිඳුගෙන් වරම්

මං සොඳ දෙවි වැඳ අවසර ගන්නේ
පෙම් වඩවන කවි නිතර කියන්නේ
ඉන් වරදක් ඇති මුත් දුර ලන්නේ
පින් ඇති සැම දෙවි අවසර දෙන්නේ

මුදුනේ යන ගොන් රජු නේ
පසුපස යන කිරි ගොනු නේ
වට දුවනා නාම්බ නේ
කොඹ මඩවා දෙන් සොදි නේ

මේ කාගෙද ගොන් වස්සා
කලු‍ ගොයියාගෙ ගොන් වස්සා
උගේ පිටේ ඇට මැස්සා
එළවා දක්කන් වස්සා

දුම්බර කෙතේ වැට බැඳලා රැකුම් බැලුම්
මාවැලි ගඟේ දිය බැඳලා කෙත‍ට ගිලුම්
බොළඳ ළියන් කර ඔසවා බලන බැලුම්
තුම්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

ඉඩවර දවසට කොයි ‍ ගොයියා
සතර වනන්තර කොටා දමයියා
පතර අකුල් කටු නසා දමයියා
විසුණු කරයි වැසියොති ගිනි දෙයියා

විදලා නගුලුත් ඇණ ගසමින්නේ
විදලා විය දඬු ලණු අදිමින්නේ
යොදලා නැකතක් ගෙන සලසන්නේ
බැඳලා ගොන්ගෙයි හි මඩවන්නේ

ඉනේ බලාපන් ඉනවට සේල බලාපන්
අතේ බලාපන් අත වට ගිගිරි බලාපන්
කරේ බලාපන් කරවට මාල බලාපන්
දැදුරු ඔයෙන් එන එතනගේ ඔමරි බලාපන්

තඹුරු පුබුදු මල් සුවඳයි හැම විට
බමරු ඇවිත් රොන් ගෙන යති උදයට
මදුරු කිඳුරු නද වෙති තද වාතෙට
නැඹුරු වෙලා ඉකි ගෝමර තරමට

ඇදුනි සතක් කොළ පෙති අග තුඩු දී
පෙනුණි සුනිල් තණ පත් ලෙස නද දී
ඇදුනි යපුරුකක් ඒ නිසි කල දි
පිපුණි ගොයම් මල් නව පෙත්තේ දී

සෙතක් ලැබේවා තිසරණ සරණේ අවසර
මෙලක් දිවට අධිපති සැම දෙවිඳුන් සිහිකර
දොසක් ඇතත් දුරු කර සෙත සලසා නිරතුර
මදක් කියමි නෙළුම් තහංචිය අපි කවි කර

සැමට කියමි වදනක් සිතුසේම අසන් නට
සතුටු සිතින් පිළිගනු එය සමාවෙලා මට
කෙතට බසින්නට පළමුව බුදු ගුණ සිහි කොට
පිහිට පතා දෙවියන්ගේ බසිමුකො කුඹු රට

උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියෙන නෙලාපු වල් විසි කරපල්ලා
ඉනේ තියෙන ලේන්සු පොඩි අතට ගනිල්ලා
බුදුන් දහම් සඟ සරණින් ගොඩට යමල්ලා

තෙල් ගාලා ඉස පීරන් නෑනෝ
ඇට වැල ඇරගෙන බැඳගන් නෑනෝ
සේලේ අරගෙන ඇඳපන් නෑනෝ
ගොයම් නෙළන්නට යමු අපි නෑනෝ

කැකුළු තිසරු ඔසරියෙන් වසා ගෙන
රුකුළු වළලු දෑතේ නද දී ගෙන
මැදලා පුස්කොළ තෝඩු තියා ගෙන
වෙල මැද නෙලුමට යමු සැරසි ගෙන

රටට ගමට ජාතියටත් ගරු කොට
පණට කයට අප සැම උදව්වට
නිවට නොවී හොඳ කල් ගත කෙරුවට
වෙලට බහිමු අපි ගොයම නෙලන්නට

බොහොම ගන්ට නම් ගොයමෙන් අස්වනු
බොහොම හොදට නෙළුමත් ඕනෑ වෙනු
කොහොම කලත් බෑ නොහෙලා දැනගනු
නෙළුම තමයි අපේ පුරුදුම කහවනු

තුනක් ඇදුනි කොළ පෙති ජල මත්තේ
මදක් පමණ වෙන කොට සිවු පෙත්තේ
දනක් පමණ වෙන කොට පස් පෙත්තේ
සයක් ඇදුණි කොළ බොරු නැත සන්නේ